හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 150කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ (17) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලදි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ එහි තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 400කට අධික බවය.
රුපියල් කෝටි 20ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ බව අත්අඩංගුවට ගැනුණු බෝට්ටුවේ ස්කිපර්වරයා සහ ධීවරයින් තිදෙනා ආරක්ෂක අංශ වෙත අනාවරණ කර ඇත.
නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව දිවයිනට දකුණු දෙසින් මුහුදු සැතපුම් 400ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී පසුගිය 13 වැනිදා මෙම ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගෙන ඇති අතර දෙනුවන් පුතා නම් අදාළ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් සිව්දෙනෙකුද අත්අඩංගුවට ගත් අතර එහි තිබී මත්ද්‍රව්‍ය බහාලු උර 6ක් සොයාගන්නා ලදි.
ඒ අනුව අදාළ ධීවර යාත්‍රාව ඊයේ අලුයම දික්ඕවිට ධීවර වරායට රැගෙන විත් සිදුකළ පරීක්ෂා කිරීමේදී උර හයෙහි තිබී කිලෝග්‍රෑම් 150කට අධික බරකින් යුත් හෙරොයින් තොගයක් සොයාගැනුණු අතර එහි වීථි වටිනාකම රුපියල් කෝටි 400කට අධිකය.
විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පොල්අතුමෝදර සරත් නැමැත්තා විසින් මෙම මත්ද්‍රව්‍ය දිවයිනට රැගෙන ඒම සම්බන්ධීකරණය කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.
ඒ සඳහා ඔහු විසින් යාත්‍රාවේ සිටි ස්කිපර්වරයා ඇතුළු ධීවරයන් සිව්දෙනාට රුපියල් කෝටි 20ක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති බවත්, අත්තිකාරම් ලෙස ස්කිපර්වරයාට රුපියල් ලක්ෂ 20ක්, තවත් ධීවරයෙකු වූ පොල්අතුමෝදර සරත් නැමැත්තාගේ මුණුපුරාට රුපියල් ලක්ෂ 5ක් සහ සෙසු ධීවරයන් දෙදෙනාට රුපියල් ලක්ෂ 2ක් සහ රුපියල් පනස්දහසක මුදලකුත් ලබාදී ඇතැයිද විමර්ශනවලදී හෙළිවී තිබේ.
සැකකරුවන් විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ, ඉරාන නෞකාවකින් මෙම මත්ද්‍රව්‍ය ලබාගත් අතර නාවික හමුදාව සිය යාත්‍රාව ආසන්නයට පැමිණීමේදී තමන් සතු සැටලයිට් ජංගම දුරකථන දෙකක් මුහුදට විසිකළ බවත් නාවික හමුදාවට හසුවුවහොත් අදාළ මත්ද්‍රව්‍ය තොගය මුහුදට දැමීම සඳහා ඒවායේ ලුණු කොට්ට බැඳ සකසා තිබී ඇති බවත්, නමුත් නාවික හමුදාව ක්ෂණයෙන් ක්‍රියාත්මකවීම හේතුවෙන් එම උත්සහාය ව්‍යාර්ථ වූ බවත්ය.
ඉකුත් 31 වැනිදා දකුණු පළාතෙන් දියඹට ගිය අදාළ ධීවර යාත්‍රාව ඊට දින කිහිපයකට ඉහතදී ‘බඩා බේබි‘ නැමැත්තෙකුගේ නමින් රුපියල් ලක්ෂ 40කට මිලදී ගෙන ඇති බවද වාර්තා වේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය කුඩු සළිඳු හෝ රන් මල්ලි නමැති මත් ජාවාරම්කරුවන් දෙදෙනාගෙන් අයෙක් පොල්අතුමෝදර සරත් නැමැත්තා හරහා මෙරටට එවා ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කර ඇත.

