ඊයේ (16) අලුයම හෝමාගම, ගලගාහේන ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගන්නා ලදි.
සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මෙය ගෙල කපා සිදුකරන ලද සාහසික මනුෂ්‍ය ඝාතනයක් බව අනාවරණය වී තිබේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඇඟලුම් ආයතනයක ස්ථිර රැකියාවක නිරත වන අතරතුර, අර්ධකාලීනව ඇප් මඟින් ධාවනය වන කුලී යතුරුපැදි රියදුරෙකු ලෙස ද කටයුතු කර ඇත.
ඉකුත් 15 වැනිදා රාත්‍රී 7.00ට පමණ කුලී ගමනක් සඳහා පුද්ගලයෙකු යතුරුපැදියෙන් ප්‍රවාහනය කිරීමට ඔහු නිවසින් පිටත්ව ගොස් තිබේ.
පොලිසිය සැක කරන්නේ අදාළ ඇළ මාර්ගය අසල පිහිටි වෙන්දේසි ඉඩමක් තුළදී මෙම ඝාතනය සිදුකර ඇති බවය.
අපරාධය සිදුවූ බවට සැක කෙරෙන ඉඩම තුළ තිබී මියගිය පුද්ගලයාගේ බවට සැක කෙරෙන පාවහන් යුගලක් සහ රුපියල් 20ක මුදල් නෝට්ටුවක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ඝාතකයන් විසින් මියගිය පුද්ගලයාගේ යතුරුපැදිය, රන් මාලය, ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය ද කොල්ලකා පලාගොස් ඇත.
මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව හෝමාගම මූලික රෝහලේදී පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ බරපතළ ලෙස ගෙල කපා දැමීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවය.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා හෝමාගම පොලිසිය විසින් විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.


