2026 මැයි 11 දින රාත්රියේදී අම්බලන්තොට මාමඩල ඇලේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ ඉතාම දරුණු බිහිසුණු ඝාතන සිද්ධියක් මුළු රටේම අවධානයට ලක්ව තිබේ. ඒ එම ප්‍රදේශයේ තරුණයෙකු, ආයුධවලින් කපා කොටා ඝාතනය කර, ඔහුගේ හිස කදෙන් වෙන්කර මාමඩල හන්දියේ පිහිටි රත්නාවලී දේවියගේ පිළිරුව මත තබාගොස් ඇති බවට පුවතක් වාර්ථා වීමත් සමගය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පදිංචි වීරසේකර ආරච්චිගේ ලක්මාල් සඳරුවන් නොහොත් “පොඩී” නමැති 34 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. මොහු පසුගිය 2025 වසරේ ඇල්ගොඩ ප්‍රදේශයේ සිදු වූ ත්‍රිත්ව ඝාතනයකට සැකකරුවකු ලෙස රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුගිය මාර්තු 30 වනදා ඇප ලබා පැමිණ සිට ඇත.
පොලීසිය සඳහන් කළේ, 2025 පෙබරවාරි 02 වන දින ඇලේගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ එම ත්‍රිත්ව ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර තිබිය හැකි බවටය. එම සිද්ධියේදී පුද්ගලයින් තිදෙනෙකු කපා කොටා, පොලු වලින් හිසට පහරදී ඝාතනය කර තිබූ අතර, මියගිය “පොඩී” එහි ප්‍රධාන සැකකරුවෙකු ලෙස සලකා මේ වන විටත් විමර්ශන පැවැත්වෙමින් තිබේ.
පෙරේදා සිදු වූ ඝාතනයට අදාල විමර්ශනවලට අනුව, පතොරම් තුවක්කුවක් සහ මන්නා පිහි රැගෙන පැමිණි සැකකරුවන් තිදෙනෙකු නිවසට කඩා වැදී මෙම ප්‍රහාරය එල්ල කර ඇත. ප්‍රහාරය අතරතුර නිවැසියන් ඔවුන් සමඟ පොරබදා ඇති අතර, එහිදී මියගිය තරුණයාගේ බිරිඳගේ පියාටද මන්නා පිහි පහරක් වැදී තුවාල සිදුවී ඇත.
ඝාතනයෙන් පසු සැකකරුවන් මළසිරුරෙන් හිස වෙන්කර රැගෙන ගොස් මාමඩල හන්දියේ පිහිටි රත්නාවලී දේවියගේ පිළිරුව මත තැබීම, ප්‍රදේශවාසීන් අතර දැඩි කම්පනයක් සහ භීතියක් ඇති කිරීමටත් මුලු රටේම අවධානය ඒ වෙතට යොමු කිරීමටත් සමත්ව තිබේ.
මෙවැනි සිදුවීම් හමුවේ සමාජය තුළ බරපතළ ප්‍රශ්නයක් මතුවෙමින් තිබේ. මෙලෙස දිගින් දිගටම නීතිය පසෙකලා සිදු කරන ප්‍රචණ්ඩකාරී සහ දරුණු වෙඩිතැබීම්, ඝාතන හා පළිගැනීම් සාමාන්‍ය තත්වයක් බවට පත්වුවහොත් මෙරට සාමාන්‍ය ජනතාවගේ සහ සිවිල් සමාජයේ ආරක්ෂාව කෙමෙන් කෙමෙන් අහිමිව යන්නේද යන ප්රශ්නය අද බොහෝ දෙනාගේ සිත් තුළ නැගී තිබේ.
අද සමාජයට අවශ්‍ය වන්නේ තවත් ලේ වැගිරීම් නොව, නීතිය ක්‍රියාත්මක වන සාධාරණ රාජ්‍යයකි.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය සහ විශේෂ පොලිස් කණ්ඩායම් විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


