පසුගිය (11) දින අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර, ඔහුගේ හිස රැගෙන ගොස් ප්‍රදේශයේ පිහිටි රත්නාවලී දේවියගේ පිළිරුවෙහි දෑත් මත තබායෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසියට මේ වන විට හැකිව තිබේ.
ඒ අනුව අදාළ අපරාධයට තිදෙනෙකු පැමිණ ඇති බවට සැකකෙරෙන අතර, එම තිදෙනාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පැවසුවේ, මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු වන සලිත උදයංග මල්ලිකාරච්චි නොහොත් ‘මෙත්ත ලොකු‘ ගේ සහෝදරයෙකු ඝාතනය කිරීමකට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවය.
තවද මෙම ඝාතනයට චමීර උදයංග හා සාරංග දර්ශන නැමති දෙදෙනෙකුද සම්බන්ධ වී ඇති බවද පෙලීසිය අනාවරණය කරගෙන ඇත.
එමෙන්ම රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු මෙම ඝාතනය සම්පූර්ණයෙන් මෙහෙයවා ඇති බවටත් මේ වනවිට තොරතුරු අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව මෙලෙස ඝාතනයට ලක් වූ ලක්මාල් සඳරුවන් හෙවත් ‘පොඩී‘ නැමැති 34 හැවිරිදි පුද්ගලයා 2025 වසරේ පෙබරවාරි මස 2 වැනිදා මාමඩල ප්‍රදේශයේම සිදුවූ ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු ලෙස රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇපමත පැමිණ සිට ඇති අතර ඔහුගේ උපන්දිනයද යෙදී තිබූ බව කියන පසුගිය මැයි 11 වැනිදා රාත්රියේදී සලිත උදයංග මල්ලිකාරච්චි නොහොත් ‘මෙත්ත ලොකු‘, චමීර උදයංග හා සාරංග දර්ශන යන තිදෙනා විසින් මෙම ඝාතනය කර ඇති බවට අනාවරණය වී තිබේ.
එම තිදෙනාව ඝාතනය වූ පුද්ගලයාගේ බිරිඳ විසින් හඳුනාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ලදි.
ඒ අනුව චමීර උදයංග නැමැත්තාව සිද්ධිය වූ දිනම අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, අනෙක් දෙදෙනා අද (13) පස්වරුවේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඝාතනය වූ පුද්ගලයා ඇතුළු කණ්ඩායමක් විසින් 2025 වසරේ සිදුකළ බවට සැකකෙරෙන ත්‍රිත්ව ඝාතනයේදී ඝාතනයට ලක් වූ අසංක මල්ලිකාරච්චි නොහොත් ‘මෙත්ත පොඩී‘ නැමැත්තා, අත්අඩංගුවට පත් වූ සලිත උදයංග මල්ලිකාරච්චි හෙවත් ‘මෙත්ත ලොකු‘ නැමැත්තාගේ සහෝදරයෙක් බවද සිය සහෝදරයාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවටද පොලීසිය සැක පල කර තිබේ.
එම ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධවූවන් බියකිරීමේ අරමුණින් ‘පොඩී‘ නැමැත්තා ඝාතනය කර ඔහුගේ හිස රැගෙන ගොස් එලෙස රත්නාවලී දේවී පිළිරුවේ තබන්නට ඇති බවත් එම හිස කඳින් වෙන්කර රැගෙන යෑම සම්පූර්ණයෙන්ම සැලසුම්කර ඇත්තේ, ‘මෙත්ත පොඩී‘ නැමැත්තාගේ මවගේ සහෝදරයෙකු වන රංජිත් ප්‍රියන්ත එදිරිවීර නොහොත් ‘කරුණ ලොක්කා‘ නැමැත්තා විසින් බවත් පොලිසිය සැක පල කර තිබේ
අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ‘කරුණ ලොක්කා‘ ඝාතනය සිදුවූ දින උදෑසන තමන්ට එරෙහිව මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් අගුණුකොලපැලැස්ස අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අනුව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට භාරවී තිබේ.
එහිදී ඔහුට ඇප තැබීමක් සිදු වී නොමැති හෙයින් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ.
එයද ඔහු මෙම ඝාතනය මෙහෙය වූ බවට එල්ලවන චෝදනා මගහැරීම සඳහා සිදුකළ එකක් බවට පොලිසිය සැකපළකරන අතර ඔහු මෙම ඝාතනය සිදුකරන බවට සැලසුම් කරන බවට ද ආරක්ෂක අංශවෙත තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.
ඔහු මෙම ඝාතනය සිදුකරන බවට සැලසුම් කරන බවට ද ආරක්ෂක අංශවෙත තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.
නීතිවිරෝධී මත්පැන් ජාවාරම හේතුවෙන් ඇතිවූ ආරවුල් දුරදිග යෑම හේතුවෙන් මෙම ඝාතන සිදුව ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරී විජේබන්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් අම්බලන්තොට පොලිසියේ ස්ථානධිපති අමිල රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ලැබේ.


