ඊයේ (23) රාත්‍රියේ වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, වනාතේ සුමේධ නම් බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඊයේ රාත්‍රි 9.30ට පමණ සිදු වූ මෙම වෙඩිතැබීම මට්ටක්කුලියේ මනෝජ් නැමැත්තා මෙහෙයවා ඇති බවට සැකකරන බව පොලීසිය සඳහන් කර ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට පැවසෙන කුඩු රොෂාන් නැමැත්තා ඉලක්ක කර වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ.
කුඩු රොෂාන්ගේ සහෝදරයාගේ තුන් හැවිරිදි දියණියගේ උපන්දින සාදය ඊයේ පස්වරුවේ පවත්වා ඇති අතර ඝාතනයට ආ වෙඩික්කරු ද සාදයට පැමිණි අයෙක් මෙන් නර්තනයේ යෙදෙමින් පැමිණ, පසුව වෙඩිතැබීම සිදුකර ඇත.
කෙසේ වෙතත් වෙඩි තැබීම සිදුකර ඇත්තේ ”කුඩු රොෂාන්” හැඳ සිටි ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී කුඩු රොෂාන් සමග උත්සවයට පැමිණ සිටි වෙනත් පුද්ගලයෙකුටය.
”කුඩු රොෂාන්” එම අවස්ථාවේ දුම්වැටියක් පානය කිරීමට ගොස් සිට ඇති අතර ඔහු එලෙස ගමන් කරන ආකාර උත්සව ශාලාවේ තිබූ CCTV කැමරාවල පටිගත වී ඇත.
පොලීසිය විසින් සිදුකළ සෝදිසි කිරීම් හමුවේ ඊයේ රාත්‍රියේදීම වෙඩික්කරු පැමිණි මෝටර් රථය ජා ඇල ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් 5ක් විසින් සිදුකෙරේ.


