රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමක් සහිත කොකේන් තොගයක් සමඟ විදේශ ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙක් බව එම ඒකකය සඳහන් කරන ලදි.
කෘෂිකාර්මික ඉංජිනේරුවරයෙක් වන ඔහු පසුගිය 22 වෙනිදා සියෙරා ලියෝන් සිට අඩිස් අබාබා සහ දෝහා හරහා කටාර් එයාර්වේස් ගුවන් සේවයට අයත් ූඍ654 ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.
සැකකරු විසින් සිය අතෙහි රැගෙන ආ ගමන් මල්ල රේගු නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළ ද කිසිදු සැකකටයුතු ද්‍රව්‍යයක් සොයගැනීමට නොහැකි වූ බව මත්ද්‍රව්‍ය පාලන ඒකකය සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඔහුගේ අනෙක් ගමන් මල්ල එම ගුවන් යානයෙන් නොපැමිණීම හේතුවෙන්, නියමිත පැමිණීමේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපොළෙන් පිටව යාමට ඔහුට අවසර ලබාදී තිබී ඇත.
ප්‍රමාද වූ ගමන් මල්ල පසුව ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබූ අතර, එය භාර ගැනීම සඳහා සැකකරු ඊයේ (24) පස්වරු 6.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයට පැමිණ තිබේ.
එම ගමන් මල්ල නිදහස් කිරීමට පෙර ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් එය එක්ස්-රේ පරීක්ෂාවට ලක් කිරීමේදී සැකකටයුතු ද්‍රව්‍ය නිරීක්ෂණයවීම හේතුවෙන් එය පූර්ණ භෞතික පරීක්ෂාවක් සිදු කර ඇත.
එහිදී ගමන් මල්ල තුළ තිබූ ලිපිගොනු රඳවන දෙකක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් පාර්සල් හතරක් සොයාගෙන තිබේ.
එහි මුළු බර කිලෝග්‍රෑම් 2.198ක් වන අතර, එහි දළ වීථි වටිනාකම රුපියල් මිලියන 109.9ක් පමණ වන බවට තක්සේරු කර ඇති බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරු සහ අත්අඩංගුවට ගත් කොකේන් තොගය වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.


