පොලිස් නිලධාරියකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයෙකුට පොලීසිය වෙඩි තැබීමේ සිද්ධියක් අද (19) උදෑසන පිළියන්දල, බෝකුන්දර ප්රදේශයෙන් වාර්ථා විය.
අද (19) උදෑසන බොරලැස්ගමුව ඕ.පී.පෙරේරා මාවතේ නිවසකට යතුරුපැදි දෙකකින් තියුණු ආයුධ සහිතව පැමිණි සිව්දෙනෙක් නිවැසියන්ට පහරදී නිවසට බරපතළ හානි සිදුකර තිබේ.
පසුව එම සැකකරුවන් පිළියන්දල දෙසට පලායන බවට බොරලැස්ගමුව පොලීසියට තොරතුරක් ලැබී ඇත.
ඒ අනුව පොලීසිය, පිළියන්දල බෝකුන්දර වීරසිංහ මාවත ප්රදේශයේ රැකවල්ලා සිටි අවස්ථාවේදී පලායමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අනපේක්ෂිත ලෙස පොලීසිය සිටිනු දැකීම හේතුවෙන් ක්ෂණිකව යතුරුපැදිය හරවාගෙන යෑමට උත්සාහ දරා ඇති අතර එහිදී යතුරුපැදිය නවත්වාගැනීමට පොලිස් නිලධාරින් මහත් පරිශ්රමයක් දැරීමේදී යතුරුපැදියේ පසුපැදිකරු ඔහු අත වූ තියුණු ආයුධයකින් පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී ඇත.
එහිදී කොස්තාපල්වරයා පසු පැදිකරු ඉලක්ක කර වෙඩිතබා ඇති අතර, වෙඩි ප්රහාරය සැකකරුගේ ඉන ප්රදේශයට එල්ලවී ඔහු යතුරුපැදියෙන් බිමට වැටී තිබේ.
ක්ෂණිකව ක්රියාත්මක වූ පොලිස් නිලධාරින් පසුපැදිකරු අත්අඩංගුවට ගත් නමුත් පැදිකරු එම ස්ථානයෙන් පලායාමට සමත්වී ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්වූ සැකකරු බණ්ඩාරගම වීදියගොඩ ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු බව සඳහන් වේ.
සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරු සහ පොලිස් කොස්තාපල්වරයා මෙන්ම පැදිකරුවන්ගේ පහරකෑමට ලක්වූ නිවැසි තරුණියක්ද මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල හා බොරලැස්ගමුව පොලිස් ස්ථාන එක්ව විමර්ශන ක්රියාත්මකයි.

