සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි පසුගියදා නේපාලයේදී මෙරට පොලිස් කණ්ඩායමක් එරට පොලිසිය සමග එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අනුව අපරාධකරුවන් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඇතුළු තවත් නිලධාරීන් සිව්දෙනෙකු විසින් ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන එන ලදි.
පෙරේදා (15) පස්වරු 6.52ට පමණ අපරාධකරුවන් රැගත් ගුවන්යානය මෙරටට ළඟාවිය.
මෙලෙස මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි තමා ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසුව පලා ගිය ආකාරය පිළිබඳව ආරක්ෂක අංශ වෙත කරුණු රැසක් අනාවරණ කර තිබේ.
එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ ඝාතන සිද්ධියෙන් පසු මාස දෙකකට අධික කාලයක් තමන් මතුගම හා තංගල්ල යන ප්‍රදේශවල සැඟව සිටි බවය.
එලෙස පැමිණි අපරාධකරුවන් විශේෂ ආරක්ෂාවක් යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් වෙත භාරදෙනු ලැබීය.
ඒ අනුව ඉෂාරා සෙව්වන්දි, ඩුප්ලිකේට් ඉෂාරා හෙවත් තක්ෂි, ජේ.කේ. බායි නැමැත්තා හා ජැෆ්නා සුරේෂ් නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදෙනු ලැබීය.
ගම්පහ බබා නැමැත්තා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට භාරදුන් අතර නුගේගොඩ බබී නැමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට භාරදෙනු ලැබීය.
එහිදී ඉෂාරාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ, ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසුව තමන් මාසයක පමණ කාලයක් මතුගම ප්‍රදේශයේ නිවසක සැඟවී සිටි බවය.
අනතුරුව පද්මේගේ උපදෙස් මත මිද්දෙණිය ප්‍රදේශයට ගොස් එහිද මාසයක් පමණ රැඳී සිට ඇති අතර බැකෝ සමන් එහිදී ඇයට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරදී ඇති බවට ද අනාවරණය වී තිබේ.
පසුව යාපනයට ගොස් දින තුනක් රැඳී සිට ජේ.කේ බායි ද සමගින් බෝට්ටුකින් ඉන්දියාවට පලාගොස් තිබේ.
පැය පහක පමණ කාලයක් ඒ සඳහා ගතවී ඇති අතර විශාල බෝට්ටුවකින් මදදුරක් ගොස් අනතුරුව කුඩා බෝට්ටුවක් මගින් ඉන්දියාවට ඇතුළු වූ බව ඉෂාරා සඳහන් කර තිබේ.
ඉන්දියාවේ සති දෙකක පමණ කාලයක් රැඳී සිට එහිදී තමිලනී නමින් ඉන්දියානු හැඳුනුම්පතක් ඇයට ජේ.කේ. බායි සකස් කර දී ඇති අතර අනතුරුව නේපාලයට ගිය බව ඇය පවසා ඇත.
වැඩිදුරටත් ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඉෂාරා පවසා ඇත්තේ, තමන් සමග ජේ.කේ. බායිට අමතරව තවත් පුද්ගලයන් සිව්දෙනෙකු සිටි බවය.
ඒ අනුව එම පිරිස ද අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ගම්පහ බබා, නුගේගෝඩ බබී, ජැෆ්නා සුරේෂ් හා ඉෂාරාගේ රුවට සමානව පෙනී සිටි තක්ෂි නැමැත්ති බව සඳහන් වෙයි.
කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට පත්වීමට සති දෙකකට පමණ පෙර ජැෆ්නා සුරේෂ් හා තක්ෂි නැමැතිතිය නේපාලයට ගුවන් මගින් පැමිණ ඇත.
ඔවුන් හය දෙනාම එකම නිවසක සිට ඇති අතර පද්මේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව ස්ථාන 6කට පිරිස බෙදී ගිය බව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබේ.
එමෙන්ම තක්ෂි නැමැත්තියගේ විස්තර යොදා සෙව්වන්දිව යුරෝපා රටකට යැවීමට පද්මේ කටයුතු යොදා තිබූ බවද අනාවරණය වී ඇත.
කෙසේවෙතත් පද්මේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව පිරිස දැඩි ආර්ථික අර්බුද රැසකට මුහුණ දී සිට ඇති බව ද පොලිසිය අනාවරණය කර ගෙන ඇත.
මේ අතර නුගේගොඩ බබී නැමැත්තාගෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, කෙහෙල්බද්දර පද්මේ විසින් තමන්ව හා ගම්පහ බබී නැමැත්තාව මීට මාස කිහිපයකට පෙර ඉන්දියාවට ගෙන්වා ගත් බවය.
මන්නාරම, පේසාලේ ප්‍රදේශයෙන් තමන් දෙදෙනා බෝට්ටුවකින් ඉන්දියාවට පිටත් වූ අතර ඒ සඳහා පද්මේ සම්බන්ධ කර දුන්නේ බැකෝ සමන් නැමැත්තා විසින් බව ද සැකකරු පවසා තිබේ.
ඔහු 2019 වසරේ කොහුවල, ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුකර එදිනම ඩුබායි රාජ්‍ය බලා පලා ගොස් ඇති අතර අනතුරුව පසුගිය වසරේ ජූලි 12 වැනිදා එරටින් පිටුවහල් කර ඇති බව ද පොලිසිය සඳහන් කළේය.
කෙසේවෙතත් සැකකරු පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

