පසුගිය (02) දින අයිස් ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 700ක් සන්තකයේ තබාගෙන සිටි හීනටියන ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
ඒ අනුව සිදුකල විමර්ශන වලදී මෙම සැකකරු විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ සමීපතමයෙකු බවටත්, යුධ හමුදාවෙන් පලා ගිය සෙබළෙකු බවටත් අනාවරණය වී ඇත.
තවද 2024.12.28 දින සීදූව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සැලසුම් කිරීම, 2025.02.21 දින මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධයේ වෙඩික්කරු ලෙස ක්‍රියා කිරීම, 2025.02.26 දින මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයේ වෙඩික්කරු ලෙස ක්‍රියා කිරීම යන අපරාධවලට සම්බන්ධ බවටද අනාවරණය වී ඇත.
එමෙන්ම මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන්ට නවාතැන් සහ ආධාර අනුබල ලබාදීම සම්බන්ධව පුද්ගලයකු ඊයේ (06) දින අත්අඩංගුවට ගෙන ඇත.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 60 වන වියේ පසුවන සැකකරුවකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.