ඉකුත් ජූලි 23වැනිදා වත්තල ප්රදේශයේ හෝටලයක රාත්රියේ පැවති උපන්දින සාදයකට කඩාවැදී, වෙඩි ප්රහාරයක් එල්ලකර පුද්ගලයෙකු ඝාතනය කර ඉන්දියාවට පළා ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී ඊයේ (13) අත්අඩංගුවට ගනු ලැබීය.
අදාළ සිද්ධියෙන් පසු ඔවුන් දෙදෙනා බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලාගොස් තිබූ අතර, එහිදී එරට ආරක්ෂක අංශ මගීන් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර ඇත.
වත්තල ප්රදේශයේ පදිංච්කරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා අතරින් එක් අයෙකු 30 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර, අනෙක් පුද්ගලයා 34 හැවිරිදි වියේ පසුවන අයෙක්ය.
ඔවුන් චෙන්නායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුවත් කර තිබී ඇත. ඒ අනුව සැකකරුවන් දෙදෙනා පැමිණි ගුවන් යානය කටුනායකට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්රකාශ සටහන් කර ගැනීමෙන් පසු, සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දැඩි ආරක්ෂාව යටතේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි.


