පසුගිය 17 වනදා තෙල්දෙනිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ තිබී භෞත චිකිත්සකවරියගේ මළ සිරුර සොයාගෙන තිබූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ ගෙල සිර කිරීමකින් මෙම මරණය සිදුකර ඇති බවය.
කෙසේවෙතත් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අත්අඩංගුවට ගත් සැකකරු පවසා තිබුණේ, තමා ශ්‍යාමා නැවතී සිටි කාමරයට යන විට ඇය ගෙල වැලලාගෙන සිටි බවත්, බියට පත්ව සිරුර මෝටර් රථයේ දමා තෙල්දෙණියට රැගෙන ආ බවත් ය.
තවද මෙම සැකකරු සිදුකල වංචාවන් පිළිබඳව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී ඇත.
පොලිස් විමර්ශනවලට අනුව ප්‍රධාන සැකකරු වයස අවුරුදු 30ට වැඩි, අවිවාහක කාන්තාවන් ඉලක්ක කර ගනිමින් විවාහ කරගන්නා බව පවසා රවටන මහා පරිමාණ වංචාකරුවෙකි.
මියගිය භෞතචිකිත්සකවරිය අම්පාර රෝහලේදී ඔහුට හමුව ඇත්තේ ඇයගෙන් ප්‍රතිකාර ලබාගැනීමට ගිය අවස්ථාවකය.
සැකකරු කාන්තාවන් රවටා ලබාගන්නා මුදල්වලින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති අතර, ඔහු විවිධ කූඨ උපක්‍රම මගින් කාන්තාවන් රැවටූ සමස්ත මුදල රුපියල් කෝටි දෙකකට අධික බව අනාවරණය වී ඇත.
තවද මෙම ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
වළාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් ඔහුව අත්අඩංගුව ගෙන ඇත.
මේ අතර, මීට පෙර අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ තවත් සැකකරුවෙකු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී ඇත.


