මහනුවර තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක මියගොස් සිටියදී සොයා ගත් භෞත චිකිත්සකවරියගේ පෙම්වතා යැයි කියන තරුණයා හඳුනා ගැනීමට නුවරඑළිය පොලිසිය මහජන සහය පතයි.
ඒ අනුව, පහත ඡායාරූපයේ අය දුටුවහොත්
නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි 01 චන්දන බස්නායක 071- 8591096 සහ
නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක 071- 8591097 වෙත දැනුම් දෙන ලෙස නුවරඑළිය පොලිසිය ඉල්ලා සිටියි.
නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් කරන ලද මූලික විමර්ශනයේදී මියගිය තරුණිය සිය පෙම්වතා සමග නුවරඑළියේ සංචාරක හෝටලයක අවස්ථා දෙකකදී නවාතැන් ගෙන සිටි බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම තරුණිය සමග සැකකරු ඉකුත් 02 වැනිදා හෝටලයට පැමිණ 10 වැනිදා පිටව ගිය බවත්, පසුව තරුණිය 16 වැනිදා තනිවම හෝටලයට පැමිණි බවට තොරතුරු අනාවරණය වී ඇත.
පසුව පෙරේදා (16) රාත්‍රී 9ට පමණ සැකකරු කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයකින් එම සංචාරක හෝටලයට පැමිණ බිරිඳ රෝගාතුරව ඇති බව එම හෝටලයේ ආරක්ෂක අංශ වෙත දැනුම් දී පෙම්වතියව ඔසවාගෙන විත්, හෝටලයේ බිල්පත ද ගෙවා තරුණියව මෝටර් රථයේ දමාගෙන රැගෙන ගිය බවට එම හෝටලයේ ආරක්ෂක නිළධාරියා පොලිසිය වෙත තොරතුරු ලබා දී ඇත.
වැලිගම ප්‍රදේශයේ පදිංචි පී.ආර්. ශ්‍යාමා දර්ශනී නමැති 33 හැවිරිදි ඇය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක් බවත්, ඇය 2023 වසරේ සිට එම රෝහලේ සේවය කර විදේශ ගත වන බව පවසා රැකියාවෙන් ඉල්ලා අස්වීමට අදාල ලියකියවිලි භාර දුන් බවත්, අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය නිස්සංක විරේජත්න මහතා ප්‍රකාශ කර ඇත.
පොලිසිය පවසන්නේ, ඇගේ පෙම්වතා බව කියන 35 හැවිරිදි ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි තැනැත්තා ඇය සමග ඇති වූ බහින්බස් වීමකින් පසු, තරුණිය ඝාතනය කර හෝටලයෙන් රැගෙන ගොස් මෝටර් රථයෙන් සිරුර රැගෙන ගොස් මහනුවර තෙල්දෙණිය රෝහල අසළ දමා ගොස් ඇති බවට සැක කරන බවයි.
පසුව රථගාලේ වාහනයක් තුළ කාන්තාවක් ඝාතනය වී ඇති බව කියමින් පොලිසියට දුරකථන ඇමතුම ලබා දී ඇත්තේද මෙම සැකකරු බවට පොලිසිය මේ වනවිට සැක පල කර තිබේ.


