තෙල්දෙණිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට නාඳුනන පුද්ගලයෙකු විසින් තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත ලබාදෙන ලද දුරකථන ඇමතුමකට විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අනුව ඊයේ (17) සවස මෙම මළ සිරුර තෙල්දෙණිය රෝහල ආසන්නයේ පිහිටි රථ ගාලක මෝටර් රථයක් තුළ තිබී හමුව තිබූ අතර, මෙම කාන්තාව අම්පාර ප්රදේශයේ රෝහලක සේවයේ නිරතව සිට දැනට සේවයෙන් ඉවත්ව සිටින භෞත චිකිස්සකවරියක් බවට අනාවරණය වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, වැලිගම – කුරුඳු කොරටුව – පලල්ල යන ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය ජූනි 03 වන දින සිට ජුනි 16 වන දින දක්වා සිය පෙම්වතා බව කියන පුද්ගලයෙකු සමග නුවරඑළිය ප්රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවට පොලීසියට අනාවරණය වී තිබේ.
තවද එම පෙම්වතා බව කියන පුද්ගලයා විසින් මැයව ඔසවාගෙන ඉන් පිටතට රැගෙන යන අයුරු එම හෝටලයේ කැමරාවල සටහන්ව තිබී සොයාගෙන ඇත.
ඒ අනුව පෙම්වතා එම කාන්තාවගේ මෘත ශරීරය 16 රාත්රියේ මෝටර් රථයක දමා ඊයේ උදෑසන තෙල්දෙණිය ප්රදේශයට රැගෙන එන්නට ඇති බවට සැකකරන අතර, තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත මෙම මෘත ශරීරය පිළිබඳව දැනුම්දීම සිදුකර ඇත්තේද, පෙම්වතා බවට සැලකෙන පුද්ගලයා විසින් බවට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මහෙස්ත්රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තෙල්දෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මෙම සිදුවීම ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරන අතර ඒ සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


