ඊයේ (10) දහවල් කොටහේන පොලිස් වසමේ මාළිගාවත්ත, ශ්‍රී සංඝරාජ මාවතේ සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දැනට ප්‍රංශයේ රැඳී සිටින “කුඩු අංජු” නමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළ කර ඇත.
මෙම වෙඩි තැබීමෙන් 54 හැවිරිදි මොහොමඩ් අස්මින් මොහිදීන් නමැති පුද්ගලයා ජීවිතක්ෂයට පත්විය.
කොළඹ 10, ශ්‍රී සංඝරාජ මාවතේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක හිමිකරුවෙකු ඉලක්ක කර ගනිමින් ඊයේ දහවල් 1.20ට පමණ වෙඩි තැබීමක් සිදුකර තිබුණි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඔහු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “කංජිපානි ඉම්රාන්” නමැත්තාගේ සමීපතම ඥාතියෙකු බව පොලීසිය සඳහන් කරක ලදි.
පොලීසිය සැක පළ කරන්නේ, “කුඩු අංජු” නමැත්තාගේ සමීපතමයෙකු පසුගියදා රත්මලාන ප්‍රදේශයේදී ඝාතනය කිරීමේ සිද්ධියකට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටය.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරේ.


