ඊයේ (25) රාත්‍රියේ බෙල්ලන්විල අවන්හල් හිමිකරුවෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී ඇත.
ඊයේ රාත්‍රීයේම විමර්ශන ඇරඹූ පොලිසිය , වෙඩිතැබීම සිදුකර පලාගිය ස්කූටර් වර්ගයේ යතුරු පැදිය සම්බන්ධයෙන් තොරතුරු අනෙක් ප්‍රදේශවල පොලිස් මාර්ග බාධකවල රාජකාරී සිදුකරන පොලිස් නිලධාරීන්ට දැනුම්වත් කර ඇත.
ඒ අනුව එම තොරතුරුවලට ගැලපෙන යතුරු පැදියක් සහ පුද්ගලයින් දෙදෙනෙක් නවගමුව ප්‍රදේශයේ සැරිසරන ආකාරය දුටු පොලිස් නිලධාරීන් ඔවුන් ලුහුබැඳ තිබේ.
එහිදී ඔවුන්ට දැකගන්නට ලැබී ඇත්තේ අදාළ පුද්ගලයින් දෙදෙනා යතුරු පැදිය නවගමුව , නිස්සරණ සිත්බිම පොදු සුසාන භූමිය අසල නවත්වා ඔවුන් පැළඳ සිටි මුහුණු ආවරණ සහ අත්වැසුම් ඉවත්කර එම ස්ථානයෙන් පිටත්ව යෑමට සූදානමින් සිටි බවය.
සැකකරුවන් දෙදෙනා සිය භාරයට ගත් පොලිස් නිලධාරීන් ඔවුන්ව පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් අතර ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී බෙල්ලන්විල ඝාතනයට අදාළ හඩපට සොයාගැනීමට හැකිව තිබේ.
ඒ අනුව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගැනුණි.
මෙහිදී අත්අඩංගුවට ගත් වෙඩික්කරු යුද හමුදාවෙන් පලා ගිය අයෙකු බවට හදුනාගෙන ඇති අතර ඔහු මින්නේරිය යුද හමුදා කඳවුරෙන් ගිනිඅවි පැන්නූ සිද්ධියේ සැකකරුවෙකු වන බව වාර්තා වේ.
මෙලෙස ඝාතනයට ලක්වුණේ අදාළ අවන්හලේ හිමිකරු වන මල්ලව ආරච්චිගේ නෙල්සන් සුදත් අමරසිංහ නැමැති 55 හැවිරිදි අයෙකි.
මූලික පරීක්ෂණවලදී වාර්තා වී ඇත්තේ වෙඩි වැදීමෙන් මියගිය අවන්හල් හිමිකරු කොස් මල්ලී නම් සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙක් බවය.
ඒ අනුව කොස් මල්ලිගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වන සැන්ඩෝ හෝ අසංක යන අය වෙඩිතැබීම මෙහෙයවා ඇති බව පොලිසිය සැකපළ කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඔවුන් දෙදෙනා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.


