ඊයේ (09) උදෑසන කළුතර, නාගොඩ, ගල්ලස්ස ප්රදේශයේදී අවන්හල් හිමිකරුවකු වෙඩිතබා ඝාතනය කෙරුණි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර තිබුණේ එම අවන්හලේ හිමිකරු හා ඔහුගේ බිරිඳ ඉලක්ක කරගනිමිනි.
පොලිසිය සඳහන් කළේ, වෙඩි ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ අවන්හලේ හිමිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ බිරිඳ බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණු බවය.
ප්රහාරයෙන් අනතුරුව වෙඩික්කරුවන් පලාගොස් ඇති අතර ඝාතනය වූ පුද්ගලයා 54 හැවිරිදි තුෂාර සම්පත් නමැති දොඩංගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිසිය පැවසුවේ ටී-56 ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර තිබූ බවත් උණ්ඩ 30ක් සහිත එහි මැගසිනය අවසන් වනතුරු වෙඩිතැබීම සිදුකර ඇති බවය.
පොලිසිය පැවසුවේ ඝාතනය වූ පුද්ගලයාට මීට වසර ගණනාවකට පෙර සිදුකළ ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බවය.
එහිදී ඔහුට එල්ලවූ ඇසිඩ් ප්රහාරයක් හේතුවෙන් ඇස් පෙනීම ද දුර්වල මට්ටමක තිබී ඇති බව වාර්තා වුණි.
එමෙන්ම ඔහු අපරාධකරුවෙකුගේ කළු සල්ලි සුදු කිරීමේ නිරතව වී සිට ඇති බවට ද තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි.
බෝම්බුවල නවීන් නැමති අපරාධකරු සමග කලක් මොහු සමීපව කටයුතු කර ඇති බවත්, ඒ හේතුවෙන් ඝාතනය වූ පුද්ගලයාගේ අවන්හලේ කාමරයෙක් බූරුවා ගැසීම සඳහා ඉල්ලීම හේතුවෙන් ඔවුන් අතර ආරවුලක් ඇතිවී තිබෙන බවට ද වාර්තාවන බවද පොලිසිය පැවසීය.
පොලිසිය සැකකරන්නේ බෝම්බුවල නවීන් නැමැත්තා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටය.
කෙසේවෙතත් මෙම ඝාතනයට නිශ්චිත හේතුවක් මෙතෙක් ආනවරණ වී නොමැත.


