ඊයේ (15) රාත්‍රීයේ ගල්කිස්ස, හුළුදාගොඩ පටුමගේ පිහිටි යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක් තුළ සිදු වූ වෙඩිතැබීමකින් එහි හිමිකරුගේ මිතුරෙක් ජීවිතක්ෂයට පත්විය.
කෙසේ වෙතත් පොලිසිය සැකපළ කරන්නේ වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරු විය හැකි බවය.
ඊයේ රාත්‍රී 9.40ට පමණ මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ ගල්කිස්ස, හුළුදාගොඩ පටුමගේ පිහිටි යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක් තුළදීය.
වෙඩි තැබීම සඳහා යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනා හුළුදාගොඩ පටුමගට හැරී අදාළ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානය දෙසට යන ආකාරය ද අනතුරුව ඔවුන් යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානය අසලට පැමිණ ඉන් වෙඩික්කරු පමණක් යතුරුපැදියෙන් බැස නිවස පිහිටි වත්ත තුළට ගමන් කරන ආකාරයද සීසීටීවී දර්ශනවල සටහන් ව තිබේ.
එහිදී වෙඩික්කරු යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානය අසල සිටි පුද්ගලයෙකු ඉලක්ක කර රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඔහු පැමිණි යතුරුපැදියෙන්ම පලා ගොස් ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණත් පසුව ඔහු මියගොස් ඇත.
මෙලෙස මියගොස් තිබුණේ රාගම ප්‍රදේශයේ පදිංච සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි.
වෙඩි තැබීම සිදුවූ ස්ථානයට කඩිනමින් පැමිණි ගල්කිස්ස පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් ඊයේ (15) රාත්‍රීයේම විමර්ශන ආරම්භ කරමින යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරු සහ තවත් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.
මේ අතර යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරුගේ මව අද (16) පෙරවරුවේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයට පැමිණියේ ඊයේ රාත්‍රීයේ විථි සංචාරය කළ බෙල්ලන්විල පෙරහර නැරඹීමෙන් පසුවය.
ඇය පැවසුවේ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා සිය පුත්‍රයාගේ මිතුරෙක් වන අතර ඔහු නිරන්තරයෙන් එහි පැමිණ මත්ද්‍රව්‍ය භාවිත කරන බවය.
කෙසේවෙතත් පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු මත පොලිසිය සැකකරන්නේ වෙඩි ප්‍රහාරයට ලක්වුණේ වෙඩික්කරුවන් ඉලක්ක කළ පුද්ගලයා නොවන බවත් අදාළ වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරු වන සඳුන් නැමැත්තා ඝාතනය කිරීමට වන බවත්ය.
පොලිසිය පවසන පරදි ඔහු , ෂෘ නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයෙක් බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.
පසුගියදා මෙම ප්‍රදේශයේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරු වන සඳුන් නැමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේය.
එමෙන්ම රත්මලානේදී කුඩු අංජුගේ ගෝලයෙක් වෙඩි තබා ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන් මෙය සිදුකරන්නට ඇති බවටත් පොලිසියට සැකයක් පවතී.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ අධීක්ෂණයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කරනු ලැබේ.


