ඊයේ (25) රාත්රියේ බෙල්ලන්විල ප්රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙල්ලන්විල ප්රදේශයේම අවන්හල් හිමියෙකු වූ වයස අවුරුදු 55ක පුද්ගලයෙකි.
ඊයේ රාත්රි 7.45ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් බෙල්ලන්විල ඇවිදින මංතීරුවට පිවිසෙන ස්ථානය අසලදී අවන්හලක් ඉදිරිපිට සිටි අවන්හල් හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරුවන් ප්රදේශයෙන් පලාගොස් තිබූ අතර වෙඩි ප්රහාරයෙන් උදර ප්රදේශයට බරපතළ තුවාල ලැබූ අවන්හල් හිමිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය.
එමෙන්ම මෙම මියගිය පුද්ගලයා කොස් මල්ලී නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙක් බවට වාර්තා වන අතර ඔහුගේ ප්රතිවිරුද්ධ පාර්ශ්වයක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කර තිබේ.
මේ අතර මෙම වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මේ වන විටත් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අදාළ සිද්ධියේ වෙඩික්කරු සහ වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ පැදිකරු නවගමුව ප්රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.
මෙම සිද්ධියේ වෙඩික්කරු යුද හමුදාවෙන් පලා ගිය අයෙකු බවත් ඔහු මින්නේරිය යුද හමුදා කඳවුරෙන් ගිනිඅවි පැන්නූ සිද්ධියේ සැකකරුවෙකු බවද සඳහන් වේ.
වෙඩි ප්රහාරයෙන් පසු සිද්ධිය සම්බන්ධව බොරලැස්ගමුව පොලීසිය, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඇතුළු විමර්ශන කණ්ඩායම් කිහිපයක් එක්ව විමර්ශන ආරම්භ කර තිබු අතර එහි ප්රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


