දෙහිවල පිහිටි ව්යාපාරික ස්ථානයකට තියුණු ආයුධ සහ යකඩ පොලු රැගෙන ඇතුළු වූ කාන්තාවන් හය දෙනකු ඇතුළු දස දෙනෙකුගෙන් යුත් කොල්ලකරුවන් පිරිසක් සේවකයින්ට පහරදී රුපියල් 13 ලක්ෂයකට අධික මුදලක් කොල්ලකා පලා ගොස් ඇත.
ඉකුත් 04 වෙනි දින සවස 06.30ට පමණ ව්යාපාරික ස්ථානය වෙත නාඳුනන පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් රූපවාහිනි යන්ත්රයක් මිලදී ගැනීමට බව පවසා ඇතුළු වී ඒ සඳහා රුපියල් 45,000/=ක මුදලක් අයකැමි වෙත ලබා දී තිබේ.
ඔවුන් වෙත රූපවාහිනි යන්ත්රය ලබාදීමට එය පරීක්ෂා කරමින් සිටියදී ප්රමාද වන බව පවසා එහි සේවකයින් සමග බහින්බස්වීමක් ඇති කරගෙන ලබාදුන් මුදල් ආපසු ලබාගෙන පිටව ගොස් මද වෙලාවකට පසු එම කාන්තාව සහ පිරිමි පුද්ගලයා තවත් කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් කිහිපදෙනෙකු සමග වෙළෙඳ සැලට ඇතුළු වී එහි සිටි සේවකයන්ට පහරදී බෑගයක දමා තිබූ රුපියල් 1,309,000/= ක මුදල කොල්ලකා පලා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කොල්ලකරුවන් පිරිස නැවත පා ගමනින්ම දුම්රිය පාර ඔස්සේ පලා ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.


