මහරගම පමුණුව පාරේ, එක්සත් සුබසාධක මාවතේ දෙවන පටුමඟ අංක 17/2 දරන දෙමහල් නිවසේ ඉහළ මහලේ පෙරේදා (18) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.
පසුව එය දුටු ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවාදැමීට කටයුතු කර ඇති අතර එහිදී නිවස අභ්‍යන්තරයේ සිටි බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් රෝහල්ගත කිරීමට පළමුව ඔවුන් කටයුතු කර ඇත.
එලෙස රෝහල්ගත කර ඇත්තේ නිවසේ හිමිකරු සහ කුලී පදනමට නිවසේ පදිංචිව සිටි පවුලේ ගෘහ මූලිකයාය.
කෙසේ වෙතත් අනතුරුව සිදුකළ සෝදිසියේදී නිවසේ කාමරයක් තුළ මියගොස් සිටීයදි එම ගෘහ මූලිකයාගේ බිරිඳගේ සහ දියණියගේ සිරුරු සොයාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ රන්තකාන්ති වික්‍රමආරච්චි නම් 55 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දියණිය වූ තත්සරණි රත්නායක නම් 16 හැවිරිදි දැරියකි.
මෙතෙක් සිදුකරන ලද විමර්ශන වලට අනුව, මෙම ගින්න නිවසේ කුළිය සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් මුල්කර ගනිමින් නිවසේ හිමිකරු විසින්ම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කර ඇත.
කලක සිට නිවසේ හිමිකරු සහ කුළි පදනම මත සිටි අදාළ පුද්ගලයින් අතර ආරවුලක් පැවති බවට මහරගම පොලිස් ස්ථානය වෙත ද පැමිණිලි ලැබී ඇති බව වාර්තා වේ.
එසේම රෝහල්ගත කර සිට 76 හැවිරිදි නිවසේ හිමිකරුද ඊයේ (19) පෙරවරුවේ මිය ගොස් ඇතැයි මහරගම පොලීසිය සඳහන් කළේය.
සිදුවීම සම්බන්ධයෙන් මහරගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

