පසුගිය මස 30 වනදා කොහුවල, බෝධිවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි ගැහැනු ළමයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 වන යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීම සඳහා යොදා ගත් රිවෝල්වර් වර්ගයේ ගිනිඅවිය දෙහිවල ප්‍රදේශයේ පාළු නිවසක තිබී සොයා ගෙන තිබේ.
දෙහිවල වනරතන ක්වාටස් ක්‍රීඩාංගණය අසලදී පසුගිය සැප්තැම්බර් මාසයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුන් දෙදෙනෙකුගෙන් කෙනෙකු ලෙසද මොහු කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කරන ලදි.
මෙම වෙඩි තැබීම දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීමෙන් සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.
සැකකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ වෙත අද (24) ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

