වලස්මුල්ල, බෝවල ප්රදේශයේ පැවැති බක්මහ උළෙලක් අවසානයේ ඇති වූ ගැටුමකින් බරපතළ තුවාල ලබා ප්රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මාලිගාවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ, වලස්මුල්ල ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු පියෙකි.
බක්මහ උළෙල පැවැති ස්ථානය පිරිසිදු කරමින් සිටි සිය සහෝදරයාට පිරිසක් පහර දෙන බවට ලද තොරතුරක් මත ඔහු සිය මෝටර් රථයෙන් එම ස්ථානයට පැමිණ ඇත.
එහිදී සිය සහෝදරයා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී විරුද්ධ පාර්ශ්වයේ පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප්රහාරයකින් මෙම සැරයන්වරයා බරපතළ තුවාල ලබා තිබේ.
එම අවස්ථාවේ දී ඔහුව වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්රතිකාර සඳහා මාතර රෝහලට ද ඉන් පසුව කරාපිටිය මහ රෝහල වෙත ද මාරු කර යවා ඇත.
ඒ අනුව එහි දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (24) දිනයේ දී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලැබේ.


