සිය 11 හැවිරිදි සහෝදරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 14 හැවිරිදි සහෝදරයෙකු ඒරාවුර් පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ඒරාවුර් ප්‍රදේශයේ පදිංචි සත්‍යානන්දන් සදීෂා නමැති 11 හැවිරිදි දැරියකි.
පසුගිය 28 වෙනිදා එම දැරියගේ මළ සිරුර නිවසේ නානකාමරයේ ඇති ජල ටැංකියේ තිබී සොයාගන්නා ලද අතර මිය ගිය නැගණිය දුරකතනය ලබානොදීම හේතුවෙන් ඇයගේ සොහොයුරා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
මෙම දරුවන්ගේ මව විදේශගතව සිටින අතර මෙම සිදුවීම සිදුවන දිනයේ ඔවුන්ගේ පියා රැකියාව සඳහා පිට ප්‍රදේශයකට ගොස් ඇත.
මෙවන් පසුබිමක සැකකරු විසින් සිය නැගණියගෙන් දුරකතනය ඉල්ලා ඇති අතර ඇය එය ප්‍රතික්ෂේප කර ඇති අතර මේ සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීම දුරදිග යාමත් සමඟ ඔහු මෙම ඝාතනය සිදු කර ඇති බවත් ඉන් අනතුරුව ඔහු අසල්වාසි නිවසකට ගොස් සිට ඇති බවට සැක පළ කෙරේ.
රැකියාවට ගොස් සිටි පියා නිවසට පැමිණ දරුවන්ව සොයා ඇති අතර එහිදී සිය දියණිය ජල ටැංකියේ සිහිසුන්ව වැටී ඇති අයුරු ඔහු දැක ඇත.
ඉන් අනතුරුව ඇයව රෝහල් ගත කිරීමට පියවර ගත්ත ද ඒ වනවිටත් ඇය මිය ගොස් ඇති බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කළහ.
මේ සම්බන්ධයෙන් 14 හැවිදිරි සිසුවාගෙන් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමේදී තමන් විසින් සිය නැගණිය ඝාතනය සිදු කළ බවට හෙළි විය.
ඉන් අනතුරුව සැකකාර සිසුවා අත්අඩංගුවට ගත් බවත්, ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කරන ලදි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.


