ජපානයේ චිබා ප්‍රාන්තයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇත.
ජපානයේ චිබා ප්‍රාන්තයේ නගරෙයාමා නගරයේ හිගාෂි-හට්සුෂි 3-චෝමේ ප්‍රදේශයේ පිහිටි සමූහ නිවසකදී මෙම සිදුවීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි තවත් ශ්‍රී ලාංකික සිසුවෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අගෝස්තු 11 වන අඟහරුවාදා උදෑසන 10:20 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර, උදරයට තියුණු පිහි පහරක් ලක්වූ තරුණයා රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇත.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටි ජයකොඩි ආරච්චිලාගේ ප්‍රවීන් ඉසුරු නමැති 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් එම නිවසේම පදිංචිව සිටි 18 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රහාරයෙන් අනතුරුව සැකකරු විසින්ම අංක 119 ඔස්සේ හදිසි සහන සේවා වෙත දැනුම් දී ඇති අතර, ස්ථානයට පැමිණි නගරෙයාමා පොලිස් නිලධාරීන් හමුවේ තමා පිහි ප්‍රහාරය එල්ල කල බව පිළිගැනීමෙන් පසුව ඔහුව එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය තරුණයා විසින් තමාට සමලිංගිකයෙකු යැයි පවසමින් අපහාස කිරීම, මවට බැන වැදීම සහ තමාට පහරදීම හේතුවෙන් ඇතිවූ කෝපය මත මෙම ප්‍රහාරය එල්ල කළ බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සැකකාර 18 හැවිරිදි තරුණයා සඳහන් කර ඇත.


