ඊයේ (04) දහවල් කාලයේදී අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බොරලැස්ගමුව පොලිස් වසමේ වැව පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන බොරලැස්ගමුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 500ක්, කඩුවක් සහ කිණිස්සක් සොයාගෙන ඇති අතර, පසුව ඔහු බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මොහු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීමේ නිරත අපරාධ කල්ලි සාමාජිකයෙකු බවයි.
තවද, මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කරමින් කඩුවක් හා කිණිස්සක් සමඟ නිවසක රැඳී සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරන ලදි.
සැකකරුට මීට පෙරද පැහැර ගැනීම්, පහරදීම්, පුද්ගලයන් කපාකොටා බරපතළ තුවාල සිදු කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පොලිස් ස්ථාන කිහිපයක නඩු රැසක් පවතින බවද අනාවරණය වී තිබේ.


