ඊයේ (26) අළුයම දකුණු පළාතේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන ලලිත්සිරි හැළඹගේ මහතාගේ අම්බලන්ගොඩ, මහඅම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ.
බෝම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් දෙදෙනා පලායමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා මේවනවිට සක්‍රීය යුද හමුදා සේවයේ නිරත සහෝදරයන් දෙදෙනෙකු බව පොලිසිය සඳහන් කර ඇත.
අලුයම් කාලයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇති නමුත් ඒ අත්බෝම්බය පුපුරා නොගොස් ඇති අතර ඒ සමග ප්‍රහාරය එල්ලකළ දෙදෙනා එම ස්ථානයෙන් පලාගොස් ඇත.
ප්‍රහාරය එල්ලකරන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.
එම අවස්ථාවේදී මාර්ග ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි ඇල්පිටිය කොට්ඨාස අපරාධ කාර්යාංශයේ සංග්‍රාමික යතුරුපැදි ඒකකය සැකකරුවන් පැමිණි යතුරුපැදිය නවත්වන ලෙසට අණකර ඇතත් ඔවුන් එය නොතකා ඉදිරියට ධාවනය කර ඇති බවයි පොලිසිය පැවසීය.
අනතුරුව පොලිසිය කිලෝමීටර 3ක පමණ දුරක් හඹාගොස් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සැකකරුවන් සතුව තිබී තවත් අත්බෝම්බයක් සොයාගෙන තිබේ.
සහෝදරයන් දෙදෙනෙකු වන සැකකරුවන් සක්‍රීය යුද හමුදා සේවයේ නිතර අතර ඔවුන් මෙම අපරාධය සඳහා එක්ව ඇත්තේ නිවාඩු ලබාගෙන පැමිණ සිටි අතරවාරයේ බව පොලිසිය සඳහන් කර ඇත.
විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවකුගේ රුපියල් ලක්ෂ දෙකක මූල්‍ය කොන්ත්‍රාත්තුවක් මත මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කළ බවත්, අත්තිකාරමක් ලෙස ඉන් රුපියල් 30,000ක් ගිණුම්ගත කර ඇති බවත් සැකකරුවන් අනාවරණ කර තිබේ.
ප්‍රහාරය කුමන හේතුවක් මත පදනම්ව සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.
අත්අඩංගුවටගත් යුද හමුදා සෙබලුන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් ඇල්පිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ සෘජු අධික්ෂණයෙන් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

