තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥ යුවළක් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධ ප්‍රධාන සැකකරුට විදේශ ගතවීම සඳහා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සහ කූඨ ලේඛන සකස් කිරීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය පෙබරවාරි 13 වන දින තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ, සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී මෙම ඝාතනය සිදුවූ අතර, බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකොට තිබේ.
ඒ අනුව, සිදුකරන ලද වැඩිදුර විමර්ශන වලින් අනාවරණය වූ තොරතුරු මත ඊයේ දින (7) පොලිස් නිලධාරීන් විසින් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයේ ප්‍රධාන සැකකරුට විදේශ ගතවීම සඳහා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ඇඟිලි සලකුණු තබා ඇති මෙම පුද්ගලයා, කූඨ ලේඛන සකස් කිරීමට අනුබල දීමේ වරද මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
45 වන වියේ පසුවන මෙම සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම ඝාතනය පිළිබඳ වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.


