අද (07) අලුයම අලුයම 12.45ට පමණ හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක දී යුවළක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය හැකිව තිබේ.
අද (07) උදෑසන මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් ඝාතනයේ ප්‍රධාන සැකකරු ”අදුපැලෑන බිංදු” යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන අතර ඔහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙකු බවට ද අනාවරණය වී ඇති බව හුංගම පොලීසිය විසින් සඳහන් කරන ලදි.
පොලීසිය පැවසුවේ, ගෙහිමි කාන්තාව වැසිකිළියෑම සඳහා නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිවස තුළට කඩා වැදී පසුව නිවසෙහි වූ කාමරයක සිටි යුවළකට තියුණු ආයුධවලින් අමානුෂික ලෙස පහරදී ඝාතනය කර ඇති බවය.
එහිදී ඝාතනය වූ පුද්ගලයාගේ හිස කක්ෂෙන් වෙන්වන ලෙස පහරදී ඇති බව ද පොලීසිය පැවසුවේය.
මෙලෙස ඝාතනයට ලක් වූයේ 28 හැවිරිදි පුද්ගලයා පසිඳු හේෂාන් නැමැත්තෙක් වන අතර ඝාතනය වූ ඔහුගේ අනියම් බිරිය බවට පැවසෙන කාන්තාව 28 හැවිරිදි ඉමේෂා මදුෂානි නම් අයෙකි.
පොලීසිය පවසන්නේ මියගිය පුද්ගලයා මීට පෙර පුද්ගල ඝාතන දෙකකට සම්බන්ධ අයෙක් බවට වාර්තා වන අතර පසුගිය වසරේදී ඔහු සමඟ ධීවර රැකියාවේ යෙදෙනු ස්කීපර්වරයාව ඝාතනය කර ඇති බවය.
ඝාතනය වූ පුද්ගලයා පෙරේදා දිනයේදී පොලීසිය විසින් වරෙන්තුවක් මත අත්අඩංගුවට ගෙන ඊයේ (06) දිනයේදී නිදහස්ව පැමිණ තිබේ.
එමෙන්ම ඔහුව මීට පෙරද ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති අතර එහිදී ඔහු බරපතළ තුවාල ලබා දිවි බේරාගෙන ඇති බවත් ඒ හේතුවෙන් දැඩි භීතියකින් ජීවත්ව ඇති ඔහු අද අලුයම 5ට තමන්ව අවදි කරන ලෙස ගෙහිමි කාන්තාවට පවසා ඇති බවත්, අද දිනයේදී කොළඹ ප්‍රදේශයට පැමිණ තාවකාලික නවාතැන්පොළක සැඟවී සිටින බවට ඇයට පවසා ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
මෙම ඝාතනය සිදුකර ඇත්තේ, ඔහුගේ හොඳම මිතුරා විසින් බවට සැක කරන බව පොලීසිය පැවසුවේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හුංගම පොලීසිය විසින් සිදු කරනු ලැබේ.

