මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට මේ වනවිට ආරක්ෂක නිලධාරීන්ට හැකිවී තිබේ.
පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් රැසක් එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා ඇති අතර, කාන්තා රැඳවියන් තවදුරටත් විරෝධතාවයේ නිරත වී සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා සඳහන් කළේය.
මේ අතර, මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් 20 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත.
මේ අතර තවත් පුද්ගලයින් 58 දෙනෙකු මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
පසුගිය 05 වන දින මීගමුව බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට විරෝධය දක්වන පිරිසක් අතර කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබු අතර එහිදී දෙපාර්ශ්වයේ ම රැඳවියන් තුවාල ලැබූ අතර ඉන් රැඳවියන් 2දෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබීය.
ඊයේ (06) පෙරවරුවේ නැවතත් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක් හටගත් අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් එය පාලනය කිරීමට උත්සහ කිරීමත් සමඟ රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන්ට පහර දී තිබේ.
එහිදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 100කට අධික පිරිසක් තුවාල ලැබූ අතර ඉන් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 17දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර, මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ කලහකාරී තත්ත්වය පිළිබද කොළඹ අපරාධ කොට්ඨාශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.
බන්ධනාගාරයේ රැඳී සිටි රැඳවියන් 700 දෙනෙකු පමණ ආරක්ෂාව සඳහා අගුණකොළපැලැස්ස, දුම්බර, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදි.
මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (07) සිදුකිරීමට නියමිත අතර අදාළ ගැටුමෙන් මියගිය රැඳවියන් හඳුනා ගැනීම සඳහා ඥාතීන්ට අවස්ථාව ලබාදී තිබේ.
මියගිය පුද්ගලයින්ගේ ඡායාරූප රෝහලේ ප්‍රදර්ශනය කර ඇති අතර ඒවා හඳුනා ගැනීමට අද දිනයේ අවස්ථාව ලබාදී ඇති බව මීගමුව රෝහල සඳහන් කරන ලදි.


