මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) දහවල් කාලයේ සිට අද (06) උදෑසන දක්වා වරින්වර ඇති වූ ගැටුම් වලින් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කර ඇත.
ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 5 දෙනෙක් සහ රැඳවියන් 20 දෙනෙකු සිටින බව වාර්තා වේ.
මෙම ගැටුම හේතුවෙන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.
අද පෙරවරුවේ සන්සුන්ව පැවති මීගමුව බන්ධනාගාරය තුළ යළිත් නොසන්සුන්කාරී තත්වයක් හට ගැණුනි.
අද උදෑසන මෙම සිද්ධිය ඇතිවූයේ ඊයේ (05) බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වය මැදියම් රැය වන විට පාලනය කර තිබූ පසුබිමකය.
එහිදී රැඳවියන් බන්ධනාගාරය ඉදිරි දොරටුවෙන් පිටතට ඒමට කළ උත්සාහයත් සමඟ තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය සමඟ විශේෂ කාර්ය බලකාය ද යොදවනු ලැබීය.
වාර්තාකරුවන් වැඩිදුරටත් සඳහන් කළේ බන්ධනාගාරය තුළින් වෙඩි හඬ කිහිපයක්ම ඇසුණු බවය.
කෙසේවෙතත් උදෑසන 10.00ට පමණ ඇති වූ මෙම උණුසුම් තත්ත්වය හමුවේ රැඳවියන් පාලනය කර ගැනීමට ආරක්ෂක අංශවලට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය.
අනතුරුව ආරක්ෂක අංශ සාමාජිකයන් තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාරය තුළට ඇතුළු විය.
එමෙන්ම මීට සුළු මොහොතකට පෙර ඇසුණු වෙඩි හඬ සමඟ යළිත් වතාවක් බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් එම පරිශ්රමය වෙත පැමිණ විරෝධතා දැක්වීමට පටන් ගත් අතර එම තත්ත්වය පාලනය කිරීමට ද පොලිසියට විශේෂ පරිශ්‍රමයක් දැරීමට සිදු ව ඇත.
කෙටිකාලීන සිරකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් 1,800කට අධික පිරිසක් රඳවා සිටින මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත්තේ ඊයේ පස්වරුවේය
මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින් මෙම ගැටුම ඇති වූ බව සඳහන්ය.
බන්ධනාගාරය තුළ කළහකාරී ලෙස හැසිරුණු රැඳවියන් මීගමුව බන්ධනාගාරය තුළ පිහිටි රෝහල කඩා එහි වූ ඖෂධ පැහැරගෙන ඇති බව එහි බලධාරීන් පවසයි.
එසේම ඔවුන් එහි ශරීර සුවතා මධ්‍යස්ථානයේ දොරටු කඩා එහි වූ යකඩ සිය ප්රචණ්ඩ ක්‍රියා සඳහා යොදාගෙන ඇති බව ද වාර්තා වේ.
කෙසේවෙතත් ඊයේ පස්වරුවේ ඇතිවූ තත්ත්වය හමුවේ රැඳවියන් අවි පැහැගනීයැයි ඇතිවූ සැකය මත බන්ධනාගාර නිලධාරීන් ඊයේ රාත්‍රියේම අවි ගබඩාවේ තිබූ ගිනිඅවි ඉන් ඉවත් කරගෙන තිබේ.
අද අලුයම් කාලයේ සන්සුන් ස්වරූපයෙන් සිටි රැඳවියන් උදෑසන යළි සංවිධානාත්මකව බන්ධනාගාර නිලධාරීන්ට අමානුෂික අයුරින් පහරදී ඔවුන්ගේ ජංගම දුරකථන පැහැරගෙන ඇති බව වාර්තා වේ.
මෙම ගැටුම ඇති වූ බන්ධනාගාරයේ විවිධ අපරාධ කල්ලිවලට සම්බන්ධ පාතාල සාමාජිකයන් 26 දෙනකු සිටින බව සඳහන්.
ආරක්ෂක අංශ පවසන්නේ මේ ගැටුම මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරය තුළ දඬුවමට යටත්ව සිටින කටුවැල්ලේගම සුරේෂ් නමැත්තා බවය.
ඔහු කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙක් වන අතර තියුණු ආයුධවලින් පහරදීම, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ අලෙවිය ඔහුට එරෙහි චෝදනා වේ.
එම ස්ථානයේ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ගුවන් හමුදාව ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශ කැඳවීමට ද මේ මොහොතේ කටයුතු කර ඇත.
මේ අතර බන්ධනාගාරය ඇතුළත තත්ත්වය නිරීක්ෂණයට ගුවන් හමුදාව ඩ්‍රෝන යානා ද යොදවා තිබේ.
ඩ්‍රෝන යානා 02ක් සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් එම ස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත් බව ගුවන් හමුදාව සදහන් කළේය.


