ඊයේ (09) අලුයම් කාලයේ දී වනාතවිල්ලුව, කරතිව් ප්රදේශයේ කජු වත්තක් තුළදී පුද්ගලයෙකුට පහරදී වෙඩිතබා ඝාතනය කර ඇති බවට වනාතවිල්ලුව පොලිස් ස්ථානය වෙත ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, 34 හැවිරිදි කල්අඩිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු කරතිව් පිහිටි වැවිලි සමාගමකට අයත් කජු වත්තක කජු ඇහිදීමට ගොස් සිටියදී එහි මුරකරුවන්ට හසුවී ඇති අතර ඔවුන් විසින් පහරදී වායු රයිෆල් අවියකින් බවට සැක කෙරෙන අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් එම වතුයායේ මුරකරුවන් 08 දෙනෙකු වායු රයිෆල් අවි 04 ක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 19ත් 41ත් අතර වයස්වල පසුවන ඒත්තාලේ, පුත්තලම, කල්පිටිය, අනුරාධපුර ප්රදේශවල පදිංචිකරුවන් වේ.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වනාතවිල්ලුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


