ඉකුත් නොවැම්බර් 04 වැනිදා අම්බලන්ගොඩ, නගර සභාව අසලදී අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වූ මිරන්ත වරුසවිතාන නැමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමට ගිනිඅවි ලබාදුන් බව කියන අනුර පුෂ්පකුමාර හෙවත් ‘බටු මීයා‘ නමැත්තා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයේ පැවැති නඩුවකට ඉදිරිපත් කර එහිදී ඇප ලබා පිටතට පැමිණෙමින් සිටියදීය.
මෙසේ මියගිය ලදී අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා, කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනා වේ.
ඒ අනුව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් රැසක් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් හෙළිකර තිබුණේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවකු වන ලොකු පැටී නමැත්තා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවය.
ඊට ගිනිඅවි සපයා ඇත්තේ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ඒවන විටත් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි ලොකුපැටීගේ ඥාති සොයුරෙක් වන අනුර පුෂ්පකුමාර හෙවත් බටු මීයා නැමැත්තා බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිසිය විසින් සඳහන් කර ඇත.
ඝාතන චෝදනාවකට අදාළව මාස 3ක පමණ කාලයක සිට ඔහුට ඇප ලැබී තිබුණ ද සැකකරු එම ඇප කොන්දේසි සම්පූර්ණ නොකර බන්ධනාගාරගතව සිටින බවත් විමර්ශනවලදී පොලීසිය අනාවරණ කරගෙන තිබේ.
ඒ අතරතුර සැකකරු අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් එහිදී ඔහු ඇප කොන්දේසි සපුරා නිදහස්වීමට සූදානම්ව ඇති බවටත් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට තොරතුරක් ලැබී ඇත.
ඒ අනුව වෙනත් විමර්ශන කටයුත්තකට කොළඹට පැමිණ සිටි එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු ඇප ලබා පිටතට පැමිණීමේදී ඔහුව අත්අඩංගුවටගැනීම සඳහා අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට අසලට ඊයේ ගොස් ඇති අතර එහිදී සැකකරු තම නීතීඥවරයාට පවසා තිබුණේ, තමා පැහැරගැනීමට පිරිසක් පැමිණ ඇති බවය.
කෙසේ වෙතත් එහිදී සැකකරු අත්අඩංගුවට ගත් අතර එලෙස අත්අඩංගුවට ගත් බටු මීයා නැමැත්තා බලපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඊයේ (13) දහවල් ඉදිරිපත් කිරීමෙන් පසු රඳවාගෙන ප්රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවිය.

