ඊයේ (09) රාත්‍රියේ මරදාන පොලිස් වසමේදී සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම, පතරොම් සන්තකයේ තබා ගැනීම, සංවිධානාත්මක අපරාධකරුවන්ට අයත් මුදල් බැංකු ගිණුම්වල ඇතුලත් කරගෙන ගණුදෙනු කිරීම හා සංවිධානාත්මක අපරාධකරුවන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හා සැකකාරියක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 32 ක් වන මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය වයස අවුරුදු 25 ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෙම සැකකරු හා සැකකාරිය තාවකාලිකව රැඳී සිටි කොළඹ 10 ප්‍රදේශයේ ලැඟුම්හලක කාමරය පරික්ෂා කිරීමේදී සැකකරුට අයත් ලැප්ටොප් බෑගයක් තුල සඟවා තිබූ 9mm ජීව පතරොම් 15 ක්ද, සැකකරුගේ ප්‍රකාශ මත කුට්ටිගල පොලිස් වසමේ තුංකම ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්ෂා කර එම නිවසේ අල්මාරියක් තුල සඟවා තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ සංවිධානාත්මක අපරාධ සිදු කර උපයා ගත් බවට සැක කරන රුපියල් පහලොස් ලක්ෂ තිස් හතර දහසක මුදලක් ද (රු. 1,534,000/=) විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.
මෙම සැකකරු හා සැකකාරිය මේ වන විට රැඳවුම් නියෝග මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ඥාතීන් බවටද අනාවරණය වී තිබේ.
මොවුන් පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

