ඊයේ (11) පෙරවරුවේ මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට සැලසුම් කළ සැකකරුවන් 05 දෙනෙකු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 06 වනදා දෙහිවල – වනරතන පාර ප්‍රදේශයේ ක්‍රීඩාපිටියක් අසලදීගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ අපරාධයට පළිගැනීමක් වශයෙන් දෙහිවල ප්‍රදේශයේදීම මෙම ඝාතන සැලැස්ම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කර ඇත.
ඒ අනුව, පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා පෙර සැළසුම් සකස් කිරීම, කුමන්ත්‍රණය කිරීම, එම වරදට ආධාර අනුබල දීම, නීති විරෝධි අයුතු ජනරාශියක සාමාජිකයින් වශයෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 22 හා 36 යන වයස්වල පසුවන පංකුලම, රත්මලාන, බොරලැස්ගමුව, හා මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
තවද අත්අඩංගුවට ගත් පංකුලම ප්‍රදේශයේ පදිංචි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15 ක්ද සොයා ගෙන ඇත.
එම සැකකරු 2025.01.19 වන දින ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය සිදුකිරීමේ අපරාධයේ වෙඩික්කරු වශයෙන් ක්‍රියාකර ඇති අතර එම අපරාධයට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අයෙකු බවද වාර්තා වේ.
තවද සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත අපරාධය සිදුකිරීම සඳහා භාවිතා කිරීමට සුදානම් කර තිබූ යතුරුපැදියක්ද සොයා ගෙන ඇති අතර එම යතුරුපැදියේ සවිකර තිබූ අංක තහඩුවක ලියාපදිංචි අංකය හෝමාගම පොලිස් වසමේදී සොරකම් කල යතුරුපැදියක අංකය බවට අනාවරණය වී ඇත.
සැකකරුවන් අද (11) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

