ඊයේ (21) දහවල් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන ‘පොට්ට අමිල’ සහ ඔහුගේ සමීපතමයන් තිදෙනෙකු මොරගහහේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුතු මත්පෙති 5,300ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 15,000ක් ද පොලීසිය සොයාගෙන ඇති අතර, මෙම ජාවාරමට යොදාගත් ජංගම දුරකථන 3ක්ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.
සැකකරුගේ සමීපතමයෙකු ගෝනපොල කුඹුකවත්ත ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා පැමිණෙමින් සිටිනබවට මොරගහහේන පොලීසියට අනුයුක්ත කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට සහ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,200 ක් සොයාගෙන ඇත.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ එම මත්ද්‍රව්‍ය ‘පොට්ට අමිල’ විසින් තවත් පුද්ගලයෙකුට ලබාදීම සඳහා තමන් වෙත ලබාදුන් බවය.
පසුව ‘පොට්ට අමිල’ නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවස සොයා යාමේදී ඔහු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10,100 ක් සහ මත්පෙති 5,000 ක් පොලිස් භාරයට ගෙන ඇත.
එමෙන්ම අනෙක් සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,100 ක් සහ මත්පෙති 300 ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ‘පොට්ට අමිල’ නැමැත්තා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘මෝල් කසුන්’ සහ ‘මන්නා රමේශ්’ නැමැත්තන්ගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයකු බවත් මීට වසර කිහිපයකට ඉහතදී වෙනත් පාර්ශවයක් සමග ඇතිවූ ආරවුලකදී ඇසිඩ් ප්‍රහාරයකට ලක් වීමෙන් අනතුරුව ඔහුගේ දෑස් අන්ධ භාවයට ලක්ව ඇති බවත් පොලීසිය විසින් සඳහන් කරන ලදි.
සැකකරුවන් සිව්දෙනා හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මොරගහහේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

