ඊයේ (1) රාත්රියේ නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්රදේශයේ දී පුද්ගලයන් තිදෙනෙකුට එල්ල වූ වෙඩි ප්රහාරයකින් එක් අයෙක් මියගොස් , අනෙක් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහල්ගත කර තිබේ.
යතුරුපැදියකින් හා ත්රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව නවගමුව පොලීසිය සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අදාළ වෙඩි ප්රහාරය එල්ල වී ඇත්තේ, කුලී පදනම මත ලබාගත් නිවසක සිටි පුද්ගලයින් තිදෙනෙකුට වන අතර නිවසේ නාන කාමරය අසලදී වෙඩි ප්රහාරට ලක්ව සිටි එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ක් වූ බොරැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්ය.
එමෙන්ම අම්බලන්තොට වාඩියගොඩ සහ දෙමටගොඩ ගැවලමුල්ල ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇත.
ඔවුන් අතුරුගිරිය ඔරුවල ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා මේ වනවිට හෝමගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙකුගේ ශරීරයේ උණ්ඩ 4ක් සහ අනෙක් පුද්ගලයාගේ ශරීරයේ එක් උණ්ඩයක් ඇති බව සඳහන් වේ.
ඊයේ (01) රාත්රී 9.30 ත් 10ත් අතර කාලයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇතැයි පොලීසිය සැකපළ කරන අතර සිද්ධිය වූ ස්ථානයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 15ක් හමු වූ බවද පොලිසිය විසින් සඳහන් කරන ලදි.
වෙඩි වැදුණු තරුණයින් තිදෙනා අදාළ කුලී නිවසට මීට මාස එකහාමාරකට පමණ පෙර පදිංචියට පැමිණ ඇති අතර ඔවුන් තිදෙනා නව වසර උදාවීම නිමිත්තෙන් මත්පැන් සාදයක් පවත්වන අතරතුරදී මෙම වෙඩි ප්රහාරයට ලක්ව තිබේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, මෙය යම් පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක ප්රතිඵලයක් බවට පොලීසිය විසින් සැකකරනු ලැබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලීසිය සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

