අද (13) පස්වරුවේ තලංගම, අකුරේගොඩ ප්රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ බවට මේ වන විට අනාවරණය වී ඇත.
මෙලෙස ඝාතනයට ලක්වුණේ පිටිගල පදිංචි මල්වාරච්චි නම් නීතීඥවරයෙක් හා ඔහුගේ බිරිඳය.
පොලිසිය පැවසුවේ, ඔහු කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි නීතීඥවරයෙකු බවය.
ඔහු සිය සේවාදායකයාගේ තොරතුරු ලොකු පැටී නම් අපරාධකරුට ලබාදීම හේතුවෙන් කරන්දෙණියේ සුද්දා විසින්ම ඝාතනය මෙහෙයවා ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කර තිබේ.
තලංගම, අකුරේගොඩ ප්රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයක සිටි යුවළක් ඉලක්ක කර අද පස්වරු 5ට පමණ මෙම වෙඩිතැබීම සිදුවූ අතර මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඔ-56 වර්ගයේ ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ප්රහාර 10ක් පමණ එල්ල කර පලාගොස් ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියේ කණ්ඩායම් 3ක් ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් විමර්ශන සිදුකරනු ලැබේ.

