පසුගිය දෙසැම්බර් 30 වන දින සිදුවූ කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 25, 28, 33 හා 45 වයස්වල පසුවන මෙම සැකකරුවන් සිව්දෙනා දෙහිවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම අපරාධයට අදාළ යතුරුපැදියේ පැදිකරු, ගිනිඅවිය භාරව කටයුතු කළ සැකකරු, ගිනි අවි ප්‍රවාහනය කළ සැකකරු හා අපරාධකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් සැකකරු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි 03ක්, 09mm වර්ගයේ ජීව පතරොම් 10ක්, හෙරොයින් ග්‍රෑම් 50ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55ක් හා අපරාධයට යොදා ගත් යතුරුපැදි 02ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම අපරාධය සංවිධානාත්මක අපරාධකරුවන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය විසින් දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය කරගෙන ඇත.
පසුගිය දෙසැම්බර් 30 වන දින කොහුවල පොලිස් වසමේ සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබූ අතර එම වෙඩිතැබීමෙන් 16 හැවිරිදි ගැහැණු ළමයෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කරන ලදි.
සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

