පසුගිය 13 වනදා අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරුවෙකු ඊයේ (21) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු හිටපු හමුදා සාමාජිකයෙකු බවට තොරතුරු වාර්තා වී ඇත.
එහිදී සැකකරු සතුව තිබූ අපරාධය සඳහා භාවිත කළ ජංගම දුරකථනයක්ද එම නිලධාරීන් භාරයට ගෙන ඇත.
ඒ අනුව පොලීසිය පැවසුවේ අදාළ වෙඩික්කරු හිටපු යුද හමුදා සෙබළෙකු බවත් ඔහු 2009 වසරේදී ලබා දුන් පොදු සමා කාලය තුළදී නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත් වූ අයෙකු බවටත් විමර්ශනවලදී අනාවරණය වූ බවය.
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් එම සැකකරු අවුරුදු 46ක් වන බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවය.
නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඉලක්ක කරමින් ටී-56 වර්ගයේ තුවක්කුවෙන් වෙඩි තැබීම සිදු කර ඇත්තේ ද මෙම සැකකරු බවට මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත.
මේ අතර වෙඩික්කරුවකු වෙඩි ප්‍රහාරයට පෙර පන්නිපිටියේ නවාතැන්පලට රැගෙන ආ පුද්ගලයෙකු තායිලන්තයට පලාගොස් තිබේ.
කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු මෙම ඝාතනය මෙහෙය වූ බව කියන කරන්දෙණියේ සුද්දා නම් අපරාධකරුගේ සමීපතමෙයකු බව පොලීසිය සඳහන් කර ඇත.
ඒ අනුව වෙඩික්කරු ප්‍රවාහනය කළ මෝටර් රථය හා රටින් පලාගිය පුද්ගලයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට යෑම සඳහා කුලී පදනම මත ලබාගත් මෝටර් රථය ඊයේ (21) පස්වරුවේ අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අද (22) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.

