රුපියල් කෝටි 90කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 60කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු නිට්ටඹුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිට්ටඹුව අරලිය පටුමග, පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 ග්‍රෑම් 838 තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින ඩුබායි වරුණ සහ මොහොමඩ් සිද්ධික් සහ දැනට බන්ධනාගාරගතව සිටින දිලිඳු සංජීව නොහොත් ”ලේනා” යන අයගේ සමීපතමයෙකු බවට අනාවරණ වී තිබේ.

